කොළඹ නගරයේ ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන ඇළ මාර්ග සහ ජල අපවහන පද්ධතිය පිළිසකර කිරීමේ ප්‍රජා සහයෝගීතා ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ කොළඹ ශාඛාව විසින් ආරම්භ කර තිබේ. මෙම ව්‍යාපෘතිය Caltex-Chevron ආයතනයේ මූල්‍ය අනුග්‍රහය සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ (පහත්බිම් ගොඩකිරීමේ සංස්ථාව) තාක්ෂණික සහයෝගය ඇතිව ක්‍රියාත්මක වේ.
ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව අදහස් දැක්වූ රතුකුරුස සමාජයේ අධ්‍යක්ෂිකා කුමාරි කොතලාවල මහත්මිය සඳහන් කළේ, එහි පළමු අදියර යටතේ රාජගිරිය සිට නාරහේන්පිට දක්වා විහිදෙන හීන්ඇළේ ගමනාගමනයට බාධා පමුණුවන ජලජ ශාක ඉවත් කිරීමේ කටයුතු පසුගියදා සාර්ථකව නිම කළ බවයි. ඉදිරියේදී කොළඹ නගරයේ අනෙකුත් ප්‍රධාන ඇළ මාර්ග ද පිරිසිදු කර ජලය බැසයාම විධිමත් කිරීමට සැලසුම් කර ඇති අතර, එමඟින් වර්ෂා කාලවලදී නගරය යටවීම අවම කිරීමට අපේක්ෂා කෙරේ.














