ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල කැපී පෙනෙන මෙහෙවරක් ඉටුකළ කාන්තාවන් ඇගයීම සඳහා සංවිධානය කළ ‘ලක් වනිතා අභිමානී’ සම්මාන උළෙල පසුගිය මාර්තු 08 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි. එහිදී මෙරට මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ කාන්තා පුවත්පත් කලාව වෙනුවෙන් ඉටුකරන සුවිශේෂී දායකත්වය වෙනුවෙන් නවලිය පුවත්පතේ කර්තෘ හරින්දී ලියනගේ මහත්මිය ‘වසරේ විශිෂ්ටතම කාන්තා කර්තෘවරිය – 2026’ (The Best Women Editor Of The Year) සම්මානයෙන් පිදුම් ලැබුවාය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනී කවිරත්න මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණි. හරින්දී ලියනගේ මහත්මිය වෙත සම්මානය පිරිනැමීමේ අවස්ථාවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එෆ්.යූ.වුට්ලර්, එක්සත් ව්‍යාපාරික සංගමයේ සභාපතිනී ටාන්‍යා අබේසුන්දර සහ අයිකොනික් අවෝඩ්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂිකා දේව්මි අතපත්තු යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. දශක ගණනාවක් තිස්සේ මෙරට කාන්තාවන්ගේ හඬ නියෝජනය කරන ප්‍රමුඛතම සතිපතා පුවත්පතක් ලෙස නවලිය පුවත්පත හරහා සිදුකරන ගුණාත්මක මාධ්‍ය භාවිතය මෙහිදී විශේෂ ඇගයීමට ලක්විය. මෙම සම්මානය හරින්දී ලියනගේ මහත්මියගේ වෘත්තීය ජීවිතයේ මෙන්ම මෙරට කාන්තා පුවත්පත් කලාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් වේ.














