වයඹ පළාත් සභාවේ 2021-2024 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්විය. එහිදී රුපියල් මිලියන ගණනක මහජන මුදල් අවභාවිත වීම් සහ ව්‍යාපෘති ප්‍රමාදයන් පිළිබඳව කරුණු රැසක් අනාවරණය විය.
වයඹ පළාත් සභාවේ සයමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා 2024 දෙසැම්බර් වන විට රුපියල් මිලියන 279.58 ක් වැය කර තිබුණද, 2026 පෙබරවාරි වන විටත් එහි වැඩකටයුතු මූලික අදියරේ පවතින බව හෙළි විය. කොන්ත්‍රාත්කරු ඉවත් කිරීමට උපදෙස් දී තිබුණද එය ක්‍රියාත්මක වී නොමැති අතර මේ පිළිබඳ මාසයක් ඇතුළත වාර්තාවක් ඉල්ලා තිබේ. කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට අයත් වාහන දෙකක් අනතුරට ලක්ව වසර 4-5ක් ගතවී තිබුණද රුපියල් මිලියන 18.33ක අලාභය මෙතෙක් අයකරගෙන නොමැති බවද අනාවරණය විය.
එසේම කාබනික පොහොර නිෂ්පාදනය සඳහා 2021 වසරේ මිලදී ගත් කොම්පෝස්ට් යන්ත්‍ර සහ සූර්ය බල වියලන යන්ත්‍ර ප්‍රතිපත්තිමය වෙනස්කම් මත භාවිතයට නොගෙන දිරාපත් වෙමින් පවතින බව හෙළි වූ අතර මේවා ගොවීන්ට ලබාදීමට මාස 3ක් ඇතුළත ව්‍යාපෘතියක් සකසන ලෙස නිර්දේශ කෙරිණි. මීට අමතරව පළාත් නිවාස හා ඉදිකිරීම් සංවර්ධන අරමුදල යටතේ නිවාස ඉදිකිරීමට ගත් ඉඩම් කට්ටි 40න් අලෙවි කර ඇත්තේ 17ක් පමණක් බවත් ඉන් කොටසකට අත්තිකාරම් පමණක් ලැබී ඇති බවත් මෙහිදී අනාවරණය විය. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාගේ මූලාසනයෙන් පැවති මෙම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වූහ.














