ඊශ්‍රායලයට එල්ල වූ ඉරාන ප්‍රහාර හමුවේ එරට ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටමාර් බෙන් ග්වීර් (Itamar Ben-Gvir) තුවාල ලබා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රකාශ අසත්‍ය බව තහවුරු වී තිබේ. ටෙල් අවිව් නුවරට එල්ල වූ ප්‍රහාරවලින් ඔහුගේ නිවස ගිනිගෙන ඇති බවත්, එහිදී ඔහු තුවාල ලැබූ බවත් සඳහන් කරමින් පළ වූ වාර්තා පදනම් විරහිත බවත්, ඔහු මේ වන විට ආරක්ෂිතව සිය රාජකාරි කටයුතුවල නිරත වන බවත් වාර්තා වේ. ඔහු අවසන් වරට මාර්තු 01 වනදා රොකට් ප්‍රහාරයක් එල්ල වූ ස්ථානයක් පරීක්ෂා කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී ප්‍රසිද්ධියේ දැකගත හැකි විය.
සමාජ මාධ්‍ය පරිශීලකයින් බොහෝ දෙනෙක් ඔහුගේ වත්මන් තත්ත්වය පිළිබඳව ප්‍රශ්න කරමින් සිටින අතර, ඇතැම් පිරිස් පෙන්වා දෙන්නේ ඔහු මෝටර් රථ අනතුරකට ලක්ව ඇති බවට ඊශ්‍රායල මාධ්‍ය අසත්‍ය තොරතුරු පතුරුවන බවයි. කෙසේ වෙතත්, එවැනි කිසිදු අනතුරක් පිළිබඳව නිල තොරතුරු වාර්තා වී නොමැත. බෙන් ග්වීර් 2024 වසරේ අප්‍රේල් මාසයේදී රතු සංඥා නොතකා රිය පැදවීම හේතුවෙන් රිය අනතුරකට ලක් වූ අතර, වත්මන් කටකතා සඳහා එම පැරණි සිද්ධීන් පාදක කරගෙන ඇති බව පෙනේ. ඉරාන ප්‍රහාර හමුවේ ඊශ්‍රායල නායකත්වය පිළිබඳව පැතිර යන මෙවැනි ව්‍යාජ පුවත් (Hoax) පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් මහජනයාගෙන් ඉල්ලා සිටියි.
















