අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වසර 50කට පසු එරට ඉදිවන පළමු නව තෙල් පිරිපහදුව පිළිබඳ ඓතිහාසික ප්‍රකාශය සිදු කර තිබේ. ටෙක්සාස් ප්‍රාන්තයේ බ්‍රවුන්ස්විල් (Brownsville) හි ඉදිවන මෙම නව පිරිපහදුව සඳහා ඉන්දියාවේ ප්‍රමුඛතම පෞද්ගලික බලශක්ති සමාගම වන රිලායන්ස් ඉන්ඩස්ට්‍රීස් (Reliance Industries) විසින් ඩොලර් බිලියන 300ක දැවැන්ත ආයෝජනයක් සිදු කරන බව ජනාධිපතිවරයා සිය ටෘත් සෝෂල් (Truth Social) ගිණුම හරහා තහවුරු කළේය. මෙය අමෙරිකානු ඉතිහාසයේ සිදුකළ විශාලතම ගනුදෙනුවක් ලෙස සැලකෙන අතර, ‘America First’ ප්‍රතිපත්තිය යටතේ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය ලබා ගැනීමට ගත් තීරණාත්මක පියවරක් ලෙස ද හඳුන්වා දී ඇත.
ලෝකයේ පවතින පිරිසිදුම තෙල් පිරිපහදුව ලෙස මෙය ඉදිවන බවත්, එමගින් අමෙරිකානු කම්කරුවන් දහස් ගණනකට නව රැකියා අවස්ථා උදාවන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. වර්තමානයේ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක තෙල් සැපයුමට බාධා එල්ල වී ඇති පසුබිමක, මෙම නව පිරිපහදුව හරහා අමෙරිකාවේ ජාතික ආරක්ෂාව සහ බලශක්ති ස්වෛරීභාවය තහවුරු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉන්දියාව සහ අමෙරිකාව අතර පවතින මෙම ආර්ථික සබඳතාවය හරහා දකුණු ටෙක්සාස් කලාපයේ මෙන්ම ගෝලීය බලශක්ති වෙළඳපොළේ ද දැවැන්ත වෙනසක් සිදුවනු ඇති බව වාර්තා වේ.














