හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කරන බොරතෙල් ප්‍රවාහන නෞකා සඳහා අමෙරිකානු නාවික හමුදාව විසින් ආරක්ෂාව (Escort) සපයනු ලබන බවට එරට බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් (Chris Wright) විසින් සිදුකළ ප්‍රකාශයක් ධවල මන්දිරය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. බලශක්ති ලේකම්වරයා සිය X ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ගෝලීය වෙළඳපොළට තෙල් සැපයුම බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා අමෙරිකානු නාවික හමුදාව දැනටමත් ආරක්ෂක මෙහෙයුම් අරඹා ඇති බවයි. කෙසේ වෙතත්, එම පුවත ප්‍රචාරය වී සුළු වේලාවකින් ඔහු එම සටහන ඉවත් කර ගැනීමට පියවර ගෙන ඇත.
ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් (Karoline Leavitt) මේ පිළිබඳව අදහස් දක්වමින් අවධාරණය කළේ, අමෙරිකානු නාවික හමුදාව මෙතෙක් එවැනි නෞකා ආරක්ෂා කිරීමේ මෙහෙයුමක නිරත වී නොමැති බවත්, බලශක්ති ලේකම්වරයාගේ ප්‍රකාශය වැරදි තොරතුරක් බවත්ය. බලශක්ති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ කාර්ය මණ්ඩලය විසින් සිදුකළ වැරදි උපසිරැසි ගැන්වීමක් (Incorrect caption) හේතුවෙන් එම වීඩියෝව ඉවත් කළ බවයි. මැදපෙරදිග පවතින උණුසුම් තත්ත්වය හමුවේ මෙම මුහුදු මාර්ගය විවෘතව තබා ගැනීමට ඇති විකල්ප පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් ඇතුළු බලශක්ති කණ්ඩායම අවධානයෙන් පසුවන නමුත්, නාවික හමුදා ආරක්ෂාව සැපයීම පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව රජය පවසයි.
















