මැදපෙරදිග කලාපයේ උග්‍ර වෙමින් පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් කළමනාකරණය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත පිහිටුවන ලද ආර්ථික ආවේක්ෂණ කමිටුවේ පළමු රැස්වීම ඊයේ (10) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ඉරාන-අමෙරිකා ගැටුම් හමුවේ ගෝලීය වශයෙන් නිර්මාණය වී ඇති අස්ථාවර ආර්ථික පරිසරය තුළ මෙරට වෙළෙඳපොළ ස්ථාවරව පවත්වා ගැනීමටත්, පුරවැසියන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීමටත් ගත යුතු කඩිනම් පියවර පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.
ඉන්ධන ආනයනය, මැදපෙරදිග සේවය කරන ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදේශ ප්‍රේෂණ සහ එම කලාපය සමඟ පවතින වාණිජ සබඳතා මත ශ්‍රී ලංකාව බෙහෙවින් රඳා පවතින බැවින්, පවතින බාහිර ආර්ථික කම්පනවලට නිරාවරණය වීමේ දැඩි අවදානමක් පවතින බව කමිටුව පෙන්වා දෙයි. මේ අනුව, ඉන්ධන සහ බලශක්ති අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීමට අමතරව, අඛණ්ඩව සැපයුම් දාමයන් පවත්වාගෙන යාම සහ විදේශ ආයෝජන සුරක්ෂිත කිරීම සඳහා ගත යුතු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් කර්මාන්ත නගාසිටුවීමට කටයුතු කරන අතරතුරම මෙවැනි ගෝලීය අර්බුදවලට මුහුණ දීමට ශක්තිමත් ආර්ථික සැලසුමක් සකස් කිරීම රජයේ මූලික අරමුණයි.
















