හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) තුළ නාවික බෝම්බ (Mines) ඇටවීමට ඉරානය කටයුතු කරන බවට ලැබී ඇති වාර්තාත් සමඟ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය වෙත දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. ඉරාන හමුදා විසින් මෙම මුහුදු මාර්ගයේ නෞකා ගමනාගමනය අඩාල කිරීමට උත්සාහ කරන්නේ නම්, ඔවුන්ගේ නාවික යාත්‍රා සම්පූර්ණයෙන්ම විනාශ කරන බව ට්‍රම්ප් සිය ටෘත් සෝෂල් (Truth Social) ගිණුම හරහා අවධාරණය කළේය. ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව එල්ල කළ ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා කිමේනි ඝාතනය වීමෙන් පසු දෙපාර්ශ්වය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය මෙලෙස උච්චතම අවස්ථාවකට පත්ව ඇත.
ලෝකයේ බොරතෙල් අවශ්‍යතාවයෙන් 20% සිට 30% දක්වා ප්‍රමාණයක් සහ ද්‍රව ස්වභාවික වායු (LNG) අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් ප්‍රවාහනය කෙරෙන ප්‍රධානතම මුහුදු මාර්ගය වන හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ගෝලීය බලශක්ති අර්බුදයකට මඟ පාදනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ බිය පළ කරති. ඉරාන නාවික හමුදාව විසින් මෙම මාර්ගයේ බෝම්බ ඇටවීමට පියවර ගැනීම ඕනෑම මොහොතක මාරාන්තික අනතුරක් ඇති කළ හැකි බව ජනාධිපති ට්‍රම්ප් පෙන්වා දෙයි. අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරාන හමුදා යටිතල පහසුකම් මේ වන විටත් දැඩි හානියකට ලක්ව ඇති බවත්, මින් ඉදිරියට ඕනෑම සතුරු ක්‍රියාවකට ඉතා දරුණු ලෙස ප්‍රතිචාර දක්වන බවත් ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.














