ඝාතනයට ලක් වූ චාලි කර්ක්ගේ වැන්දඹු බිරිඳ වන එරිකා කර්ක් (Erika Kirk), අමෙරිකානු ගුවන් හමුදා ඇකඩමියේ අමුත්තන්ගේ මණ්ඩලය (Board of Visitors) සඳහා පත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය ප්‍රකට දේශපාලන ක්‍රියාකාරිනියක වන කැන්ඩස් ඕවන්ස්ගේ (Candace Owens) දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. සිය සැමියාගේ අභාවයෙන් පසු පුරප්පාඩු වූ එම ධුරය සඳහා එරිකා පත් කිරීම නිවේදනය කිරීමත් සමඟ, ආරක්ෂක දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන මෙවැනි වගකිවයුතු මණ්ඩලයකට ඇය පත් කිරීමට තරම් ඇති සුදුසුකම කුමක්දැයි ඕවන්ස් ප්‍රශ්න කර සිටියි.
සිය X ගිණුමේ සටහනක් තබමින් කැන්ඩස් ඕවන්ස් උපහාසාත්මක ලෙස ප්‍රකාශ කර ඇත්තේ, ඇය ශෝකයෙන් පසුවන වැන්දඹුවක නිසා ඇයගේ සුදුසුකම් ප්‍රශ්න කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බව ඇතැමුන් සිතන බවයි. මෙම පත්වීම කිසිසේත්ම සාමාන්‍ය දෙයක් නොවන බවත්, මෙය ප්‍රශ්න කරන පුද්ගලයින් ‘භූතයින්’ (Demonic) ලෙස හැඳින්වීම වැරදි බවත් ඇය පෙන්වා දෙයි. චාලි කර්ක්ගේ අභාවයෙන් පසු ඇති වූ අනුකම්පාව මත පදනම්ව මෙවැනි පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ද මේ වන විට විශාල විවාදයක් හටගෙන ඇති අතර, කැන්ඩස් ඕවන්ස්ගේ මෙම ප්‍රකාශය එම විවාදය තවදුරටත් උණුසුම් කර තිබේ.
















