මිනීමැරුමකට සෘජුව සම්බන්ධ නොවී වසර 34ක් පුරා මරණ දඬුවමට නියම වී සිටි චාල්ස් “සොනි” බර්ටන්ගේ (Charles “Sonny” Burton) මරණ දඬුවම, ඇලබාමා ආණ්ඩුකාර කේ අයිවී (Kay Ivey) විසින් ඊයේ (අඟහරුවාදා) ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට ලිහිල් කරන ලදී. ලබන බ්‍රහස්පතින්දා ඔහුට එරෙහි මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අතර, ඔහු නිවැරදිකරුවෙකු ලෙස සලකා නිදහස් කරන ලෙස ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කළ ඉල්ලීම් සහ විරෝධතා සලකා බලමින් මෙම තීරණය ගෙන තිබේ.
මෙම සිද්ධිය 1991 වසරේදී ටැලඩෙගා (Talladega) ප්‍රදේශයේ ඔටෝසෝන් (AutoZone) වෙළඳසැලක සිදු වූ මංකොල්ලයකට සම්බන්ධ වූවකි. එම මංකොල්ලය අතරතුර ඩග් බැට්ල් (Doug Battle) නැමැති පාරිභෝගිකයා වෙඩි තබා ඝාතනය කෙරුණු අතර, එම ඝාතනය සිදු කළේ ඩෙරික් ඩිබෲස් (Derrick DeBruce) නැමැති පුද්ගලයා විසිනි. චාල්ස් බර්ටන් එම මංකොල්ලයට සහාය දුන්නද, වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී ඔහු වෙළඳසැල තුළ සිට නැති බවත් ඔහු කිසිවෙකු ඝාතනය කර නැති බවත් අධිකරණයේදී තහවුරු විය. කෙසේ වෙතත්, එවකට පැවති නීතිමය තත්ත්වයන් මත ඔහුට ද මරණ දඬුවම නියම විය. සැබෑ ඝාතකයා වූ ඩිබෲස්ගේ දඬුවම ද මීට පෙර ලිහිල් කෙරුණු අතර ඔහු 2020 වසරේදී සිරගෙදරදී මියගියේය. මෙම මානුෂීය තීරණය මානව හිමිකම් සංවිධානවල ඇගයීමට ලක්ව ඇත.













