කැනඩාවේ ටොරොන්ටෝ නුවර පිහිටි අමෙරිකානු කොන්සල් කාර්යාලය ඉලක්ක කර ගනිමින් ඊයේ (මාර්තු 10) අලුයම එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් කැනඩා බලධාරීන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මෙම සිදුවීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ‘ත්‍රස්තවාදී ක්‍රියාවක්’ විය හැකි බවට සැක කරන අතර ඒ පිළිබඳව සියලු අංශ ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකයි. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී කොන්සල් කාර්යාලය අසල කිසිවෙකු නොසිටි බැවින් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල වීමක් වාර්තා වී නොමැති බව පොලිසිය තහවුරු කරයි.
ටොරොන්ටෝ නියෝජ්‍ය පොලිස්පති ෆ්‍රෑන්ක් බැරෙඩෝ (Frank Barredo) ප්‍රකාශ කළේ අලුයම 5:30ට පමණ මෙම සිදුවීම වාර්තා වූ බවයි. සාක්ෂිවලට අනුව, සුදු පැහැති ‘හොන්ඩා CRV’ වර්ගයේ රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු කොන්සල් කාර්යාලය ඉදිරිපිට රථය නවත්වා ගොඩනැගිල්ලේ ඉදිරිපස දොරටුවට වෙඩි තබා වහාම පලා ගොස් තිබේ. මැදපෙරදිග යුදමය වාතාවරණයට එරෙහිව පසුගිය දින කිහිපය පුරා මෙම ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතා පැවැත්වුණු අතර, මෙම ප්‍රහාරය සහ එම විරෝධතා අතර කිසියම් සබඳතාවක් පවතින්නේද යන්න පිළිබඳව ද ආරක්ෂක අංශ විමර්ශනය කරයි.














