විදුලි සේවකයින්ගේ වැටුප් ඉල්ලීම් නිසා විදුලි බිල දෙගුණ වීමේ අවදානමක්
වර්ජනයේ නිරත විදුලි බල වෘත්තීය සමිති ඉල්ලා සිටින සියයට 40ක වැටුප් වැඩි කිරීම ලබා දුන්නහොත් එම පිරිවැය පියවා ගැනීමට මහජනතාව මත පටවන විදුලි බිල සියයට සියයකින් පමණ ඉහළ දැමීමට සිදුවනු ඇති බව ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම් පුද්ගලික සමාගමේ සභාපති නුසිත් කුමාරතුංග මහතා අනාවරණය කරයි. වෘත්තීය සමිති ඉදිරිපත් කළ ඉල්ලීම් හැට හතරෙන් හැට දෙකක් සඳහාම මේ වන විට පාලනාධිකාරිය එකඟතාව පළ කර ඇති අතර ඉන් බහුතරයක් ලංකා විදුලිබල මණ්ඩලය සතුව පැවති වරප්‍රසාද නව සමාගම් යටතේ ද ඒ අයුරින්ම පවත්වාගෙන යාමට අදාළ ඉල්ලීම් බව ඔහු පෙන්වා දෙයි.
සේවකයින් ඉල්ලා සිටින මෙම අධික වැටුප් වැඩිවීම ලබා දීමට වසරකට රුපියල් බිලියන විසි දෙකක අතිරේක පිරිවැයක් දැරීමට සිදුවන අතර දෙදහස් විසිපහ වසර අවසානය වන විට විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන තිස් පහක් ලෙස වාර්තා වී තිබීම මෙම තත්ත්වය තවත් බරපතළ කරයි. දැනටමත් වැටුපට අමතරව රුපියල් දොළොස් දහසකට ආසන්න දීමනාවක් සහ ජීවන වියදම් දීමනා ඇතුළුව සැලකිය යුතු අතිරේක මුදලක් ලබා දීමට රජය එකඟ වී ඇති පසුබිමක මෙවැනි ඉල්ලීම් ඉටු කිරීම සාමාන්‍ය රජයේ සේවකයින්ට සහ පාරිභෝගිකයින්ට සිදු කරන අසාධාරණයක් බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය බලශක්ති මිල ඉහළ ගොස් ඇති මෙවන් මොහොතක දේශීය කර්මාන්ත පද්ධතියට දරාගත නොහැකි බරක් පටවමින් සිදු කරන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පිටුපස ඇති සැබෑ අරමුණ පිළිබඳව ද පාලනාධිකාරිය ප්‍රශ්න කර සිටියි.














