මධ්‍යම පළාතේ වතු පාසල් පද්ධතිය මුහුණ දෙන අධ්‍යාපනික ගැටලු සහ යටිතල පහසුකම්වල පවතින අඩුපාඩු පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම හමුවේදී ස්වභාවික ආපදාවලින් පීඩාවට පත් වතු පාසල්වල වත්මන් තත්ත්වය සහ පවතින උග්‍ර ගුරු හිඟය පියවා ගැනීම සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම නුවරඑළිය, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල සියලු පහසුකම් සහිත 1AB ශ්‍රේණියේ පාසල් ඇති කිරීම කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර ඉන්දීය රජයේ මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක කෙරෙන ස්මාර්ට් පන්තිකාමර ව්‍යාපෘතියේ ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනයට ලක් විය.
මෙම නව වැඩපිළිවෙළ යටතේ වතු පාසල්වල පූර්ව ළමාවිය අධ්‍යාපනය ශක්තිමත් කිරීම, ගුරු නිවාස පහසුකම් වැඩිදියුණු කිරීම සහ වැඩබලන විදුහල්පතිවරුන්ගේ ශ්‍රේණි උසස් කිරීම් වැනි කරුණු රැසකට විසඳුම් ලබා දීමට එකඟතාව පළ විය. මැදපෙරදිග යුද වාතාවරණය සහ ඉන්ධන මිල ඉහළ යාම වැනි ගෝලීය ආර්ථික අභියෝග හමුවේ වුවද මෙරට වැවිලි ප්‍රජාවේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරමින් ඔවුන්ට නවීන තාක්ෂණික පහසුකම් සහිත අධ්‍යාපනයක් ලබා දීම රජයේ මූලික අපේක්ෂාව බව මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.














