ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මාදැල් කර්මාන්තය සුරක්ෂිත කරමින් එය යළි නගා සිටුවීම සඳහා රජය ආරම්භ කළ නව වැඩපිළිවෙළක ගවේෂණාත්මක අදියරක් කල්පිටිය තලවිල වෙරළ තීරයේදී සාර්ථකව පවත්වා තිබේ. ජලජීවී වගා අධිකාරිය, ධීවර සංස්ථාව, නාරා ආයතනය සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනේදී මාදැල් කර්මාන්තය සඳහා මිනිස් ශ්‍රමය පමණක් යොදා ගැනීමේ වැදගත්කම සහ එහි පවතින පාරිසරික හිතකාමී බව තහවුරු විය.
ධීවර හා ජලජ සම්පත් පනතට අනුව මාදැල් කර්මාන්තය යාන්ත්‍රික නොවන සාම්ප්‍රදායික පන්න ක්‍රමයක් ලෙස සැලකෙන අතර, එහිදී දැල ඇදීම මිනිස් ශ්‍රමයෙන්ම සිදු කළ යුතු බවට නීතිමය ප්‍රතිපාදන පවතී. මීට පෙර පර්යේෂණ මට්ටමින් ට්‍රැක්ටර් වින්ච් (Winch) භාවිතයට අවසර ලබා දී තිබුණද, ධීවර කර්මාන්තයේ තිරසර බව සහ වෙරළ පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් එම අවසරය අවලංගු කර තිබේ. මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති පසුබිමක, මෙවැනි සම්ප්‍රදායික සහ අවම පිරිවැයක් සහිත ධීවර ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම මෙරට ධීවර ප්‍රජාවගේ ආර්ථික ස්ථාවරත්වයට ද මහඟු පිටුවහලක් වනු ඇත.














