එළඹෙන මාර්තු 17 වැනිදා සිට 20 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය නිවේදනය කරන අතර මීට අදාළ තීරණය පසුගියදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ගනු ලැබීය. ඒ අනුව මාර්තු 17 වැනි අඟහරුවාදා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධරයන්ගේ පාරිශ්‍රමික හා සේවා කොන්දේසි තීරණය කිරීමට අදාළ අතුරු යෝජනා සම්මතය විවාදයට ගෙන අනුමත කිරීමට නියමිතව තිබේ.
මාර්තු 18 වැනි බදාදා දින පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ ඉදිරිපත් කර ඇති නියෝග විවාදයට ගැනීමට නියමිත අතර සෑම දිනකම පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. විශේෂයෙන්ම මාර්තු 19 සහ 20 යන දින දෙකේදීම විරුද්ධ පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන “ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය” පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට තීරණය කර ඇති අතර මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය සහ එහි ගෝලීය බලපෑම හමුවේ මෙම විවාදය ඉතා තීරණාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














