ඔස්ට්‍රේලියාවේ පැවැති ආසියානු කුසලාන තරගාවලියට සහභාගී වී නැවත ඉරානය බලා යාම ප්‍රතික්ෂේප කර දේශපාලන රැකවරණ (Asylum) ලබාගත් ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ සාමාජිකාවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු සිය තීරණය වෙනස් කර ඇති බව ඔස්ට්‍රේලියානු ආගමන විගමන අමාත්‍ය ටෝනි බර්ක් (Tony Burke) ප්‍රකාශ කළේය. සිය සෙසු ක්‍රීඩිකාවන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඇය නැවත ඉරානය බලා යාමට තීරණය කර ඇති අතර මේ සඳහා ඇය ඉරාන තානාපති කාර්යාලයේ සහය පතා තිබේ.
මෙම ක්‍රීඩිකාව සිය තීරණය වෙනස් කිරීමත් සමඟ අනෙකුත් රැකවරණ ලැබූ ක්‍රීඩිකාවන් රැඳී සිටින ස්ථානය පිළිබඳ තොරතුරු ඉරාන තානාපති කාර්යාලය වෙත නිරාවරණය වීමේ අවදානමක් මතු වූ බව අමාත්‍යවරයා පැවසීය. ඒ හේතුවෙන් රැකවරණ ලබා සිටින සෙසු ක්‍රීඩිකාවන් වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් පියවර ගෙන ඇත. පසුගිය සතියේ දකුණු කොරියාව සමඟ පැවැති තරගයට පෙර ඉරාන ජාතික ගීය ගැයීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම ක්‍රීඩිකාවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ඉරානය තුළ දැඩි දඬුවම් විඳීමට සිදුවනු ඇතැයි මතුවූ බිය නිසා ඔස්ට්‍රේලියාව ඔවුන්ට මානුෂීය වීසා (Humanitarian Visas) ලබා දීමට කටයුතු කළේය.
ෆාතිමා පසන්දිදේහ්, සහ්රා ගන්බාරි ඇතුළු ක්‍රීඩිකාවන් පස් දෙනෙකු දැනටමත් ආරක්ෂිත ස්ථානවල පසුවන අතර ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් සඳහන් කළේ මෙම නිර්භීත කාන්තාවන්ට ඔස්ට්‍රේලියාව තුළ පූර්ණ ආරක්ෂාව හිමි වන බවයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මෙම සිදුවීම පිළිබඳව සිය අවධානය යොමු කර ඇති අතර ඔස්ට්‍රේලියාව ඔවුන්ට රැකවරණය ලබා නොදෙන්නේ නම් අමෙරිකාව ඔවුන්ව භාර ගැනීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ.














