විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුවත් සමඟ නිර්මාණය වී ඇති නව ආර්ථික අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට එක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ව්‍යවසායක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි. ඊයේ (10) කොළඹදී පැවති ලාංකේය ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ (COYLE) 2026 වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ වත්මන් රජයේ ප්‍රධාන අරමුණක් වන්නේ ඩිජිටල්කරණය හරහා රටේ ආර්ථිකය නවීකරණය කිරීම බවයි. ඒ වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් බිලියන 6.5ක මුදලක් වෙන් කර ඇති අතර, 2026 වසර අවසානයට පෙර ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට රජය අපේක්ෂා කරයි. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම මත එල්ල වී ඇති බාහිර ආර්ථික කම්පනය කළමනාකරණය කිරීමට රජය උපරිම උත්සාහයක් දරන බවත්, බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් හෙතෙම අවධාරණය කළේය. රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට රජය සූදානම් බව පැවසූ ජනාධිපතිවරයා, සාමුහික ප්‍රයත්නයකින් පවතින අභියෝග ජයගත හැකි බව ද විශ්වාසය පළ කළේය.














