අමෙරිකා-ඊශ්‍රායල සහ ඉරාන ගැටුම මධ්‍යයේ ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් හඳුන්වා දුන් නවතම ඩේටින් ඇප් (Dating App) සංකල්පයක් පිළිබඳව අන්තර්ජාලය තුළ දැඩි කතාබහක් සහ විවේචනයක් මතු වී තිබේ. ගුවන් ප්‍රහාර පිළිබඳ අනතුරු ඇඟවීමේ සිරිතා නාද වන අවස්ථාවලදී බෝම්බ බංකර් (Bomb Shelters) තුළ ආරක්ෂාව පතා රැඳී සිටින තනිකඩ පුද්ගලයින්ට එකිනෙකා හඳුනා ගැනීමට සහ සම්බන්ධ වීමට මෙමගින් අවස්ථාව සලසා දී ඇත.
ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, “මිසයිල ප්‍රහාර එල්ල වන අවස්ථාවල පවා ආදරය පවතින බව” පෙන්වීමට මෙම නිර්මාණශීලී පියවර ගත් බවයි. මෙම ඇප් එක මගින් තමන් සිටින බංකරයට ආසන්න බංකර්වල සිටින අනෙකුත් තනිකඩ පුද්ගලයින් කවුරුන්ද යන්න පෙන්වන අතර, මීට අමතරව බෝම්බ බංකර් සොයා දෙන ට්‍රැකර් (Tracker) යන්ත්‍රයක් සහ ස්නානය කිරීමට ආරක්ෂිතම වේලාවන් පෙන්වන තාක්ෂණික මෙවලම් ද හඳුන්වා දී තිබේ.
කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය පරිශීලකයින් බොහෝ දෙනෙක් මෙම පියවර දැඩි ලෙස විවේචනය කර ඇති අතර, දහස් ගණනක් පීඩාවට පත්ව සිටින යුදමය වාතාවරණයක් මෙලෙස විනෝදාංශයක් කර ගැනීම “පිළිකුල් සහගත” (Gross) ක්‍රියාවක් බව පෙන්වා දී ඇත. යුද්ධයේ භීෂණය මධ්‍යයේ මෙවැනි ඇප් එකක් ප්‍රවර්ධනය කිරීම සදාචාරාත්මක නොවන බවට ද බොහෝ දෙනා අදහස් පළ කරති.














