ආම් ආද්මි පක්ෂයේ (AAP) පාර්ලිමේන්තු මන්ත්‍රී රාඝව් චඩ්ඩා (Raghav Chadha) අද (මාර්තු 11) ඉන්දීය පාර්ලිමේන්තුවේදී පෙරගෙවුම් (Prepaid) ජංගම දුරකථන පාරිභෝගිකයින් මුහුණ දෙන දැවැන්ත මූල්‍ය සූරාකෑමක් පිළිබඳව කරුණු අනාවරණය කළේය. විදුලි සංදේශ සමාගම් විසින් ක්‍රියාත්මක කරන දින 28ක රීචාජ් චක්‍රය මගින් පාරිභෝගිකයාට අසාධාරණයක් සිදුවන බව ඔහු මෙහිදී අවධාරණය කළේය.
වසරකට රීචාජ් 13ක්: සාමාන්‍යයෙන් වසරකට මාස 12ක් තිබුණද, සමාගම් විසින් මාසික පැකේජය දින 28කට සීමා කිරීම නිසා වසරක් සම්පූර්ණ කිරීමට පාරිභෝගිකයෙකුට වාර 13ක් රීචාජ් කිරීමට සිදුවන බවත්, මෙය සැලසුම් සහගත ‘scam’ එකක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
ඇතුළට එන ඇමතුම් (Incoming) විසන්ධි කිරීම: රීචාජ් පතේ කාලය අවසන් වූ සැණින් පිටතට ගන්නා ඇමතුම් (Outgoing) නැවතීම සාධාරණ වුවද, ඇතුළට එන ඇමතුම් පවා අවහිර කිරීම අත්තනෝමතික ක්‍රියාවක් බව ඔහු පැවසීය. මේ හේතුවෙන් හදිසි අවස්ථාවකදී පුද්ගලයෙකු අසරණ වන අතර, බැංකු ගනුදෙනු සඳහා අවශ්‍ය OTP පණිවුඩ පවා ලබාගත නොහැකි වන බව ඔහු පෙන්වා දුන්නේය.
පාරිභෝගික අයිතීන්: මෙම ක්‍රමය මගින් පාරිභෝගිකයින් මත අනවශ්‍ය මූල්‍ය බරක් පටවන බවත්, පෙරගෙවුම් පාරිභෝගිකයින්ට සිදුවන මෙම “මහ දවල් කොල්ලය” වහාම නැවැත්විය යුතු බවත් ඔහු පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.
රාඝව් චඩ්ඩා පසුව සමාජ මාධ්‍ය හරහා ද අදහස් දක්වමින් කියා සිටියේ, අත්‍යවශ්‍ය සන්නිවේදන සේවාවන් මෙලෙස අවහිර කිරීම නිසා පාරිභෝගිකයා සමාගම් ඉදිරියේ අසරණ වී ඇති බවයි.














