මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ එහි වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ හදිසි අවශ්‍යතා සහ සහන සේවා සැලසීම සඳහා අදාළ තානාපති කාර්යාල වෙත මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.
මෙමඟින් යුද ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ශ්‍රමිකයින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීම, ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සහ වෛද්‍ය පහසුකම් සැපයීම මෙන්ම හදිසි අවස්ථාවකදී මව්බිමට ගෙන්වා ගැනීම වැනි කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට අපේක්ෂිතය. මැදපෙරදිග කලාපයේ පවතින අවදානම් තත්ත්වය පිළිබඳව රජය දැඩි අවධානයෙන් පසුවන අතර, විදේශගත ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විදේශ අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි. ඕනෑම හදිසි අවශ්‍යතාවයකදී අදාළ තානාපති කාර්යාල හා සම්බන්ධ වන ලෙස ද විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටියි.














