ඊශ්‍රායල හමුදා සහ ඉරානයේ සහය ලබන හිස්බුල්ලා සංවිධානය අතර පවතින ගැටුම් උත්සන්න වෙමින් අද (මාර්තු 11) බීරූට් අගනුවර දකුණුදිග තදාසන්න ප්‍රදේශවලට (Southern Suburbs) ඊශ්‍රායලය විසින් ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. හිස්බුල්ලා සංවිධානයේ බලකොටුවක් ලෙස සැලකෙන මෙම ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරවලින් දුම් වලාකුළු අහසට නැගෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
පසුගිය සතියේ අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය වීමට ප්‍රතිචාර වශයෙන් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෙබනනය මෙම සෘජු යුද්ධයට මැදි විය.
ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව දකුණුදිග කානා (Qana) නගරයට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇත. හෙන්නාවියේ (Hennawiyeh) ප්‍රදේශයේදී තුවාල ලැබූවන් බේරා ගැනීමට පැමිණි සහන සේවකයෙකු ද ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
හිස්බුල්ලා ප්‍රතිප්‍රහාර: හිස්බුල්ලා සටන්කාමීන් ද දකුණු දේශ සීමාවේදී ඊශ්‍රායල ගොඩබිම් හමුදාවන්ට ප්‍රහාර එල්ල කර ඇති අතර හයිෆා (Haifa) නගරයට දකුණින් පිහිටි මිසයිල ආරක්ෂක මධ්‍යස්ථානයක් ඉලක්ක කර රොකට් ප්‍රහාර එල්ල කළ බව එම සංවිධානය පවසයි.
ලෙබනන බලධාරීන් පවසන පරිදි මේ වන විට පුද්ගලයින් 759,300කට අධික පිරිසක් යුද්ධය හේතුවෙන් අවතැන් වී ඇති අතර ඉන් 122,600ක් පමණ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානවල පසුවේ.
ප්‍රහාර එල්ල කිරීමට පෙර එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදාව ජනතාවට නැවත වරක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.














