බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අධිචෝදනා ගොනු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) අද (11) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. කොළඹ නිපොන් හෝටලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් අදහස් දැක්වූ බවට උන්වහන්සේට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
නීතිපතිවරයා ලබා දුන් උපදෙස් අනුව මෙම පියවර ගන්නා බව පොලිසිය අධිකරණයට දන්වා සිටි අතර, මෙම නඩුවට අදාළව නීතිපති උපදෙස් ලැබීම වසර 11ක් වැනි දීර්ඝ කාලයක් ප්‍රමාද වීම පිළිබඳව ද මෙහිදී අවධානයට ලක් විය. නඩුව කැඳවූ අවස්ථාවේ ඇප මත පසුවන ඥානසාර හිමියන් ද අධිකරණය හමුවේ පෙනී සිටි අතර, නීතිපති උපදෙස් ප්‍රමාද වීමට හේතු ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා මීට පෙර කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කර තිබුණි.














