කොළඹ සහ මෙල්බර්න් අතර ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, එළඹෙන 2026 අගෝස්තු 02 වැනිදා සිට එම මාර්ගයේ සතිපතා ගුවන් වාර සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ නැංවීමට ශ්‍රීලංකන් ගුවන් සේවය තීරණය කර තිබේ. දැනට ක්‍රියාත්මක දෛනික ගුවන් ගමන්වලට අමතරව සෑම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල නව ගුවන් වාර එක් කිරීමට නියමිත අතර, එම යානා කොළඹින් පස්වරු 14:10ට පිටත්ව පසුදින අලුයම 04:30ට මෙල්බර්න් වෙත ළඟා වනු ඇත. ආපසු මෙල්බර්න් සිට පෙරවරු 06:00ට පිටත්වන ගුවන් යානා එදින දහවල් 12:15 වන විට කොළඹට ළඟා වීමට නියමිතය.
මෙම ගුවන් වාර සංඛ්‍යාව ඉහළ නැංවීම ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට සහ එහි අධ්‍යාපනය ලබන සිසුන්ට සිය නිවාඩු කාලසටහන් අනුව වඩාත් නම්‍යශීලීව මෙරටට පැමිණීමට මහඟු අවස්ථාවක් සලසා දෙයි. එසේම කොළඹ හරහා ඉන්දියාවේ ප්‍රධාන නගර වෙත ගමන් කරන සංචාරකයන්ට ද මෙමගින් වඩාත් කාර්යක්ෂම ගුවන් සම්බන්ධතාවන් හිමිවේ. මෙම ව්‍යාප්තිය හරහා කොළඹ ගුවන් තොටුපළ කලාපීය ගුවන් ගමන් කේන්ද්‍රස්ථානයක් ලෙස තවදුරටත් ශක්තිමත් කිරීමටත්, මෙරට සංචාරක කර්මාන්තය දිරිමත් කිරීමටත් ශ්‍රීලංකන් ගුවන් සේවය අපේක්ෂා කරයි.














