2019 පාස්කු ඉරු දින එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන හුදු දේශපාලන ප්‍රතිවාදිතාවන් හෝ භූ-දේශපාලන න්‍යාය පත්‍රයන් මත පදනම් නොවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි. සිය X (ට්විටර්) ගිණුමෙහි සටහනක් තබමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, වත්මන් රජය බලයට පත්වූයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බවට වූ පොරොන්දුව මත වුවද, දැනට සිදුවන පරීක්ෂණවල ස්වභාවය අනුව එම පොරොන්දු ඉටු කිරීම සහ විමර්ශනවල විශ්වාසනීයත්වය පිළිබඳ බරපතළ ගැටලු මතුවන බවයි.
විශේෂයෙන්ම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන විමර්ශන පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, ඔහු දශක තුනක යුද්ධය පරාජය කිරීමට සුවිශාල මෙහෙවරක් කළ නිලධාරියෙකු බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරි බවට නිල කොමිෂන් වාර්තා මගින් නම් කළ ඇතැම් පුද්ගලයන් වත්මන් රජයේ ඉහළ තනතුරු දරන පසුබිමක, සුරේෂ් සලේ මහතා පමණක් ඉලක්ක කිරීම ප්‍රශ්නකාරී බව ඔහු පවසයි. සැබෑ කුමන්ත්‍රණකරුවන් හඳුනා ගැනීමට කෙරෙන විනිවිදභාවයෙන් යුතු ඕනෑම පරීක්ෂණයකට තමා සහාය දෙන බවත්, එහෙත් එය දේශපාලන පළිගැනීමක් හෝ හමුදා නිලධාරීන් ඉලක්ක කර ගැනීමක් නොවිය යුතු බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටී.














