ගම්පහ, එරාවුර්, එප්පාවල සහ වැලිගම යන පොලිස් වසම්වලින් ගතවූ පැය 24 ක කාලය තුළ වාර්තා වූ මාරක රිය අනතුරු හතරකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ගම්පහ – ජාඇල මාර්ගයේදී බස් රථයකට ඉස්සර කිරීමට උත්සාහ කළ 23 හැවිරිදි තරුණයෙකු පාලනය කරගත නොහැකි වූ තම යතුරුපැදිය බස් රථයක සහ මෝටර් රථයක ගැටීමෙන් මියගොස් ඇති අතර, මඩකලපුව – ත්‍රිකුණාමලය මාර්ගයේදී පාපැදියක් තල්ලු කරගෙන පාර මාරු වූ 74 හැවිරිදි වියපත් පුද්ගලයෙකු ලොරි රථයක සහ කැබ් රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.
එසේම එප්පාවල – කැකිරාව මාර්ගයේ ඇදගල ප්‍රදේශයේදී මාර්ගය අයිනේ සිටි පදිකයන් දෙදෙනෙකු ලොරි රථයක ගැටීමෙන් 44 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති අතර, වැලිගම – ඉමදූව මාර්ගයේ මාර්ගය හරහා ගමන් කළ 67 හැවිරිදි කාන්තාවක් යතුරුපැදියක ගැටීමෙන් මාරක අනතුරකට මුහුණ දී තිබේ. මෙම අනතුරුවලට සම්බන්ධ රියදුරන් වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, එරාවුර් ප්‍රදේශයේ අනතුර සිදුකර පලාගිය ලොරි රථ රියදුරු සොයා පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














