මැදපෙරදිග කලාපයේ පවතින ඉරාන-ඇමෙරිකානු යුද ගැටුම් හේතුවෙන් ගුවන් කලාපය වසා දැමීම නිසා දෝහාහි අතරමං වූ ඇමෙරිකානු වෛද්‍යවරයෙකු, මහාද්වීප හතරක් හරහා පැය 60ක දුෂ්කර ගමනක යෙදී අවසානයේ සිය මව්බිම වන ලුසියානා වෙත ළඟා වී තිබේ. ඩොලර් 10,000ක (රුපියල් ලක්ෂ 30කට අධික) දැවැන්ත වියදමක් දරා සිදුකළ මෙම “පලායෑම” සඳහා ඔහුට කාන්තාර හරහා සෞදි අරාබියට රිය පැදවීමට පවා සිදු විය.
වෛද්‍ය ජේ මිලර් (Dr. Jay Miller) ඉන්දියාවේ සංචාරයකින් පසු පෙබරවාරි 28 වනදා දෝහා සිට ඩලස් බලා පියාසර කරමින් සිටියදී, යුදමය තත්ත්වය නිසා ඔහු ගමන් කළ කටාර් එයාර්වේස් යානය අතරමගදී යළි දෝහා වෙත හරවා එවා ඇත. ඉරානය විසින් කලාපයට එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ කටාර් ඇතුළු රටවල් කිහිපයක් සිය ගුවන් කලාපය වසා දැමීම නිසා ඔහු ඇතුළු දහස් සංඛ්‍යාත මගීහු අතරමං වූහ.
දෝහාහි හෝටලයක රැඳී සිටින අතරතුර ජනේල පවා සෙලවෙන තරමේ ප්‍රබල පිපිරුම් හඬවල් ඇසුණු බව වෛද්‍ය මිලර් පවසයි. අවසානයේ ඔහු දෝහා සිට සෞදි අරාබියට ගොඩබිම් මාර්ගයෙන් ගොස්, එතැන් සිට විවිධ ගුවන් ගමන් මාරු කරමින් මහාද්වීප හතරක් පසුකර දින කිහිපයකට පසු සිය නිවසට ළඟා වීමට සමත් විය. මෙම පුවත නිව්යෝර්ක් ටයිම්ස් (The New York Times) පුවත්පත මගින් වාර්තා කර තිබුණේ වර්තමාන මැදපෙරදිග අර්බුදයේ බියකරු බව විදහා දක්වමිනි.














