හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කරන්නේ විපක්ෂයේ පොදු වේදිකාවක් සඳහා වන නව ප්‍රතිපත්ති රාමුවක් මේ වන විට සකස් කරමින් පවතින බවත් එය නොබෝ දිනකින් රට හමුවට ඉදිරිපත් කරන බවත්ය. ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ ජනතාවගේ පරමාධිපත්‍යය සුරැකීමේ තේමාව යටතේ අද (11) කොළඹදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙම ප්‍රතිපත්ති ලේඛනය සකස් කිරීමෙන් අනතුරුව සියලුම දේශපාලන පක්ෂ නායකයින් වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති අතර, රටේ අනාගතය වෙනුවෙන් සිවිල් සමාජය ද මෙම වැඩපිළිවෙළට සම්බන්ධ කර ගැනීමේ අවශ්‍යතාව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
වර්තමාන රජයේ විදේශ ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කළ මහාචාර්යවරයා, මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාකලාපය රටේ ආරක්ෂාවට හෝ ආර්ථිකයට කිසිසේත්ම නොගැළපෙන බව අවධාරණය කළේය. සිරිමා බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස වැනි හිටපු නායකයන් ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවූ අයුරු සිහිපත් කළ ඔහු, වර්තමානයේ එවැනි රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් දක්නට නොලැබෙන බව ද කියා සිටියේය. මීට අමතරව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විදේශ සංචාර පිළිබඳව පැනනැඟී ඇති විවේචනවලට පිළිතුරු දෙමින් ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේ රාජ්‍ය නායකයෙකුගේ ආරක්ෂාව පෞද්ගලික හෝ රාජකාරි ලෙස වෙන් කළ නොහැකි බවත්, ඕනෑම අවස්ථාවක ඔවුන්ට හිමිවිය යුතු ආරක්ෂාව සම්බන්ධයෙන් වැරදි තර්ක මතු කිරීම නොකළ යුතු බවත්ය.














