දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වී සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද අවසන් වූ අතර එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබිණි. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ දින තුනක් පුරා මෙම විභාගය පැවැත්වුණු අතර අද දින විත්තිකාර පාර්ශ්වයේ මෙන්ම අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ කරුණු ඉදිරිපත් කිරීම් අවසන් කෙරිණි.
2015 ජනාධිපතිවරණ සමයේදී සතොස ආයතනය හරහා කැරම් සහ දාම් පුවරු මිලදී ගැනීමේදී රජයට රුපියල් මිලියන 53කට අධික පාඩුවක් සිදුකළ බවට එල්ල වූ චෝදනාවලට වරදකරුවන් කරමින් 2025 වසරේදී කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් මොවුන්ට වසර 20ක සහ 25ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබුණි. එම දඬුවම නීතිවිරෝධී බව පවසමින් සහ තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කළ මෙම අභියාචනා පෙත්සම්වල අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන දිනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.














