ඉන්දියාවේ හයිද්‍රාබාද් සිට තායිලන්තයේ ෆුකෙට් (Phuket) බලා පියාසර කළ එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් සමාගමට අයත් බෝයිං 737 MAX 8 (Boeing 737 MAX
යානයක්, අද (මාර්තු 11) ගොඩබැස්වීමේදී සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ධාවන පථයෙන් ඉවතට පැන තිබේ. යානයේ ඉදිරිපස රෝද පද්ධතියේ (Nose-wheel) හටගත් දෝෂයක් සහ පසුව සිදු වූ දැඩි ගැස්සීමක් සහිත ගොඩබැස්වීම (Hard landing) මෙම අනතුරට හේතු වී ඇත.
යානය ධාවන පථයේ ස්පර්ශ වන අවස්ථාවේදී එහි ඉදිරිපස රෝද ගැලවී ගොස් ඇති අතර, එමගින් යානය පාලනය කර ගැනීමට අපහසු වී ධාවන පථය මත ලිස්සා ගොස් තිබේ. සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ යානය ධාවන පථය මත සෘජුව තබා ගැනීමට නොහැකිව පසෙකට ඇදී යන ආකාරයයි. මෙම අනතුර සිදුවන අවස්ථාවේදී යානය තුළ මගීන් 133 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 7 දෙනෙකු සිට ඇති අතර, ඔවුන් සියලු දෙනාම කිසිදු තුවාලයකින් තොරව ආරක්ෂිතව ඉවත් කර ගැනීමට බලධාරීන් සමත් විය.
අනතුර හේතුවෙන් ෆුකෙට් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඇති එකම ධාවන පථය තාවකාලිකව වසා දැමීමට සිදුවූ අතර, මේ නිසා බොහෝ ගුවන් ගමන් ප්‍රමාද වීමටත් තවත් සමහරක් වෙනත් ගුවන් තොටුපළවල් වෙත හරවා යැවීමටත් සිදුවිය. අද සවස 6:00 වන විට ධාවන පථය යළි විවෘත කිරීමට අපේක්ෂා කරන බව ගුවන් තොටුපළ බලධාරීන් ප්‍රකාශ කර ඇත. ඉන්දීය සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය (DGCA) ද මේ පිළිබඳව තායිලන්ත බලධාරීන් සමඟ එක්ව පරීක්ෂණ පවත්වමින් සිටී.














