ජපාන අගමැතිනී තකායිචි සැනේ මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ ලබන සඳුදා එනම් මාර්තු 16 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජපානයේ ජාතික තෙල් සංචිතවලින් කොටසක් මුදා හැරීමට පියවර ගන්නා බවයි. මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන සැපයුමට එල්ල වී ඇති බාධා සැලකිල්ලට ගනිමින් ගනු ලැබූ මෙම තීරණය යටතේ පෞද්ගලික අංශය සතු දින 15ක තෙල් සංචිත සහ රජය සතු මාසයක කාලයකට සෑහෙන තෙල් සංචිත වෙළඳපොළට මුදා හැරීමට නියමිතය. රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, පවතින බලශක්ති අර්බුදය හමුවේ දේශීය වෙළඳපොළේ ඉන්ධන මිල පාලනය කිරීම සහ සැපයුම ස්ථාවරව පවත්වා ගැනීම ජපාන රජයේ මූලික අපේක්ෂාව වී තිබේ.














