රජය විසින් මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කරනු ලබයි. මෙම කටයුතු සිදුවන ආකාරය විමසා බැලීම සඳහා කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (මාර්තු 11) ඇඹිලිපිටිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙහිදී ඇඹිලිපිටිය, මොරකැටිය වී ගබඩා සංකීර්ණය වෙත පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා, එහි වී අලෙවි කිරීම සඳහා පැමිණ සිටි ගොවීන් සමඟ සුහද පිළිසඳරක යෙදෙමින් ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ද සොයා බැලීය. රජය විසින් නියම කර ඇති සාධාරණ මිල ගණන් යටතේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය විධිමත්ව සිදු කිරීම මෙහි මූලික අරමුණයි.
මෙම අවස්ථාවට ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ගාමිණී කීර්තිලාල් සහ උපසභාපති සුසිල් වෙළගෙදර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. මහ කන්නයේ අස්වනු නෙළීම ආරම්භ වීමත් සමඟ ගොවීන්ට සිය අස්වනු සඳහා සාධාරණ වෙළඳපොළක් ලබා දීමට රජය කැපවී සිටින බව මෙහිදී අවධාරණය කෙරිණි.














