වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ 2027 වසර සඳහා වන අයවැය යෝජනා පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (මාර්තු 11) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වා තිබේ. ජාතික ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් ඉදිරි වසර සඳහා වන ව්‍යාපෘති සැලසුම් කිරීම මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් වූ අතර, රජයේ ප්‍රධාන දැක්ම වන ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි එහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.
ඒ අනුව, වැවිලි ක්ෂේත්‍රයට නව තාක්ෂණය මුසු කරමින් සිදු කරන ඩිජිටල්කරණය, ප්‍රජා යටිතල පහසුකම් නංවාලීම හරහා දිළිඳුකම තුරන් කිරීම සහ ‘Clean Sri Lanka’ සංකල්පය යටතේ පරිසර හිතකාමී තිරසාර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. අපනයන ආදායම ඉහළ නැංවීමේ ගමන් මගට ශක්තියක් වන පරිදි මෙම සංවර්ධන වැඩසටහන් පෙළගැස්වීම අමාත්‍යාංශයේ මූලික අරමුණයි.
එසේම, අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන නිවාස ව්‍යාපෘති වඩාත් කාර්යක්ෂම සහ ප්‍රතිඵලදායී ලෙස නව සැලැස්මකට අනුව සකස් කිරීමට ද මෙහිදී උපදෙස් ලබා දී තිබේ. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සහ අනුබද්ධ ආයතනවල සභාපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.














