ඩුබායිහි ප්‍රමුඛ පෙළේ දේපළ සංවර්ධන සමාගමක් වන Azizi Developments, එමීර් රාජ්‍යයේ සංචාරක ක්ෂේත්‍රය ඉලක්ක කර ගනිමින් ඩිරාම් බිලියන 75ක (රුපියල් බිලියන 6,000කට අධික) දැවැන්ත ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ හෝටල් කාමර 60,000ක් අලුතින් එක් කිරීමට නියමිත අතර, එමගින් ක්ෂේත්‍රයේ නව රැකියා අවස්ථා 75,000ක් පමණ උත්පාදනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම දැවැන්ත සැලසුමට තරු හතරේ හෝටල් 100ක්, තරු පහේ හෝටල් 50ක් සහ තරු හතේ සුපිරි හෝටලයක් ඇතුළත් වේ. මෙහි විශේෂත්වයක් වන්නේ ලොව දෙවන උසම ගොඩනැගිල්ල ලෙස ඉදිවන ‘Burj Azizi’ කුළුණ තුළ තරු හතේ හෝටලයක් ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබීමයි. මෙම ව්‍යාපෘතිවලින් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් ඩුබායි නගරය කේන්ද්‍ර කර ගනිමින් ඉදිවන බව Azizi සමාගමේ සභාපති මිර්වයිස් අසීසි (Mirwais Azizi) මහතා සඳහන් කළේය.
මීට අමතරව, හෝටල් ක්ෂේත්‍රය සඳහා දක්ෂ ශ්‍රමිකයින් පුහුණු කිරීමේ අරමුණින් ‘Azizi Hospitality Academy’ නමින් නව අධ්‍යාපනික ආයතනයක් ද ආරම්භ කිරීමට එම සමාගම සූදානම් වේ. ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මහතාගේ ආර්ථික දැක්මට අනුව, ඩුබායි ලොව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තය බවට පත් කිරීමේ වැඩපිළිවෙළට මෙම ආයෝජනය විශාල ශක්තියක් වනු ඇති බව ආර්ථික විචාරකයෝ පෙන්වා දෙති.














