ලෝක වෙළඳපොළේ බොරතෙල් සහ ගෑස් මිල ඉහළ යාම මෙරට ආර්ථිකයට දැවැන්ත උද්ධමනකාරී බලපෑමක් එල්ල නොකරන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා අද (11) ප්‍රකාශ කළේය. රජය විසින් උද්ධමනය සහ මූල්‍ය කළමනාකරණය නිසි ලෙස පාලනය කර ඇති බැවින්, ඉන්ධන හෝ ගෑස් හිඟයක් ඇති වේ යැයි අනවශ්‍ය බියක් ඇති කරගෙන භාණ්ඩ ගොඩගසා ගැනීමෙන් වළකින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 2025 වසරේ උද්ධමනය බිංදුව මට්ටමේ පැවති අතර, 2026 පෙබරවාරි වන විට එය පවතින්නේ 2.1% ක මට්ටමක බවයි. මෙය රජය ඉලක්ක කළ 5% සීමාවට වඩා අඩු අගයක් බැවින් බාහිර ආර්ථික කම්පන දරාගැනීමේ හැකියාව මෙරටට පවතින බව ඔහු අවධාරණය කළේය. වෙළඳපොළේ සිදුවන අසාධාරණ මිල වැඩි කිරීම් පාලනය කිරීමට අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස්වරයෙකු පත් කර ඇති අතර නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.














