හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පවතින යුදමය උණුසුම හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල අහස උසට ඉහළ යාම වැළැක්වීම සඳහා G7 රටවල් සහ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) එක්ව සිය උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීමට එකඟ වී තිබේ. මෙය ඉතිහාසයේ එක්වරක් මුදාහරින විශාලතම තෙල් ප්‍රමාණය ලෙස සැලකෙන අතර, බැරල් මිලියන 300ත් 400ත් අතර ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇත.
මෙම මුදාහැරීම 2022 යුක්‍රේන යුද සමයේදී නිකුත් කළ ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා වැඩි වුවද, බලශක්ති විශේෂඥයන් පවසන්නේ මෙය කෙටිකාලීන අස්වැසිල්ලක් පමණක් වනු ඇති බවයි. මෙම දැවැන්ත තොගය ලෝකයේ දින 4ක පරිභෝජනයට පමණක් සෑහෙන අතර, සංචිත නැවත පිරවීමට නොහැකි වුවහොත් ඉදිරියේදී බරපතල බලශක්ති අනතුරක් ඇතිවිය හැකි බවට ඔවුහු අනතුරු අඟවති. කෙසේ වෙතත්, මෙම නිවේදනයත් සමඟ දැනට පවතින තෙල් මිල යම් මට්ටමකට ස්ථාවර වී ඇති බව වාර්තා වේ.














