මතුගම පැවැති ලංකා ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ (COYLE) 2026 වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ, මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ඇතිවන බාහිර ආර්ථික කම්පන දරාගැනීම සඳහා රටක් ලෙස සාමූහිකව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි. මාර්තු මස මුල සිට බොරතෙල් බැරලයක මිල 42% කින් පමණ ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මෙය 2022 වසරේ පැවැති ඩොලර් අර්බුදයට වඩා වෙනස් වූ සැපයුම් දාමයන් බිඳවැටීමේ අර්බුදයක් බව පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ ඉන්ධන සහ ගෑස් හිඟයක් ඇතිවේ යැයි බියෙන් ජනතාව අනවශ්‍ය ලෙස තොග රැස්කිරීම (Panic Buying) නිසා ඉන්ධන අලෙවිය දෙගුණයකට වඩා ඉහළ ගොස් ඇති බවයි. වර්තමානය වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 7.2 ක විදේශ සංචිතයක් මෙරට සතුව පවතින බැවින්, ඉන්ධන ආනයනයට ඩොලර් හිඟයක් නොමැති බවත්, පවතින්නේ සැපයුම් මාර්ගවල අවහිරතා පමණක් බවත් ඔහු සහතික කළේය. මේ සම්බන්ධයෙන් රජය “ආර්ථික නිරීක්ෂණ කමිටුවක්” පිහිටුවා ඇති අතර මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කර විකල්ප සැපයුම් මාර්ග සකස් කරමින් සිටින බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ආර්ථිකය නවීකරණය කිරීම සඳහා ඩිජිටල්කරණය, කෘතිම බුද්ධිය (AI) සහ දත්ත මධ්‍යස්ථාන (Data Centres) කෙරෙහි රජය උපරිම අවධානය යොමු කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා, ඒ සඳහා රුපියල් බිලියන 6.5 ක් වෙන් කර ඇති බවත් මේ වසර අවසානයට පෙර ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කරන බවත් අවධාරණය කළේය. රජයේ වගකීම ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම බවත්, ලබන වසර දෙක තුන තුළ ව්‍යාපාර දෙගුණ තෙගුණ කර ජාතික ආර්ථිකයට දායක වන ලෙසත් ඔහු ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා සිටියේය.














