කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ මානව සම්පත් ප්‍රවර්ධන ආයතනය (IHRA) මගින් 2026 වසර සඳහා පවත්වනු ලබන පාඨමාලා දෙකක් වෙනුවෙන් කිසිදු ශික්ෂණ ගාස්තුවකින් (Tuition-free) තොරව අයදුම්පත් කැඳවීමට පියවර ගෙන තිබේ. සේවයේ නියුතු අතරතුර උසස් අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අපේක්ෂා කරන පිරිස් වෙනුවෙන්ම නිර්මාණය කර ඇති මෙම අවස්ථාව පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී නිලධාරීන් කරුණු අනාවරණය කළහ.
මෙලෙස නොමිලේ පිරිනමනු ලබන්නේ වසර තුනක කාලසීමාවකින් යුත් ‘කම්කරු කළමනාකරණ උපාධිය’ (Bachelor of Labour Management – BLM) සහ වසරක කාලසීමාවකින් යුත් ‘කම්කරු අධ්‍යාපන ඩිප්ලෝමාව’ (Diploma in Labour Education – DLE) යන පාඨමාලා දෙකයි. උපාධි පාඨමාලාව සඳහා අයදුම් කරන්නන් උසස් පෙළ විභාගයෙන් අවම වශයෙන් විෂයන් තුනක් සමත්ව සිටීම හෝ පිළිගත් ඩිප්ලෝමා සුදුසුකමක් සපුරා තිබීම අත්‍යවශ්‍ය වන අතර, ඩිප්ලෝමා පාඨමාලාව සඳහා සාමාන්‍ය පෙළ විභාගයෙන් සම්මාන සාමාර්ථයක් සහිතව විෂයන් හයක් සමත්ව සිටීම ප්‍රමාණවත් වේ.
අයදුම්කරුවන් දෙපාර්ශවයම වයස අවුරුදු 22 සම්පූර්ණ කළ, අවම වශයෙන් වසර දෙකක සේවා පළපුරුද්දක් සහිත පුද්ගලයන් විය යුතු අතර ආයතනය මගින් පවත්වනු ලබන අභියෝග්‍යතා පරීක්ෂණයකින් හෝ සම්මුඛ පරීක්ෂණයකින් සමත් විය යුතුය. මෙම පාඨමාලා සඳහා කිසිදු ශික්ෂණ ගාස්තුවක් අය නොකෙරෙන අතර අය කරනු ලබන්නේ ලියාපදිංචි ගාස්තුවක් පමණක් බව විශ්වවිද්‍යාල බලධාරීහු අවධාරණය කරති. මේ සඳහා වන අයදුම්පත් මානව සම්පත් ප්‍රවර්ධන ආයතනයේ වෙබ් අඩවිය හරහා මාර්තු 31 වනදාට පෙර මාර්ගගත ක්‍රමයට (Online) යොමු කළ යුතුය.














