ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ ඔවුන්ගේ සහායක රටවල් වෙත රැගෙන යන “එක් තෙල් ලීටරයක් පවා” හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කිරීමට ඉඩ නොදෙන බව ඉරානයේ ඛාතම් අල්-අන්බියා (Khatam al-Anbiya) හමුදා මූලස්ථානය නිවේදනය කර තිබේ. ඉරානය මෙතෙක් අනුගමනය කළ ප්‍රතිප්‍රහාර දීමේ ප්‍රතිපත්තිය අවසන් බවත්, මින් ඉදිරියට සිය ක්‍රියාමාර්ගය “ප්‍රහාරයට ප්‍රහාරය” (strike upon strike) වනු ඇති බවත් එම මූලස්ථානයේ ප්‍රකාශක ඊබ්‍රාහිම් සොල්ෆාගාරි (Ebrahim Zolfaqari) මහතා අවධාරණය කළේය.
මෙම තීරණයත් සමඟ ඇමෙරිකාව හෝ ඊශ්‍රායලය ඉලක්ක කරගනිමින් තෙල් රැගෙන යන ඕනෑම නෞකාවක් හෝ ටැංකියක් ඉරානයේ නීත්‍යානුකූල ඉලක්කයක් බවට පත්වන බව ඔහු පෙන්වා දුන්නේය. කලාපීය ආරක්ෂාව අස්ථාවර කිරීමට බටහිර රටවල් කටයුතු කිරීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 200 දක්වා ඉහළ යාමට සූදානම් වන ලෙස ද ඉරාන ප්‍රකාශකයා මෙහිදී දැඩිව ප්‍රකාශ කළේය.
ලෝකයේ සමස්ත තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඉරානය ගෙන ඇති මෙම දැඩි තීරණය හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළඳපොළ තුළ විශාල කැළඹීමක් හටගෙන තිබේ. මෙම තත්ත්වය හමුවේ ඉන්ධන මිල තවදුරටත් ඉහළ යාම වැළැක්වීමට නොහැකි වනු ඇති බවත්, එය ලෝක ආර්ථිකයට බරපතල බලපෑමක් එල්ල කරනු ඇති බවත් ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.














