ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මස්කෙළිය සහ නල්ලතන්නිය ප්‍රදේශවල ඇති වූ විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත් නොකිරීම නිසා ශ්‍රී පාද වන්දනාකරුවන් සහ ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. නල්ලතන්නි නගරයේ සිට ශ්‍රී පාද උඩමළුව දක්වා වූ මාර්ගයේ පසුගිය (10) දින රාත්‍රියේ සිට විදුලිය ඇනහිට ඇති අතර, මේ හේතුවෙන් වන්දනාකරුවන්ට දැඩි අඳුරේම මාර්ගයේ රැය පහන් කිරීමට සිදු විය. කෙසේ වෙතත්, රත්නපුර පලාබද්දර මාර්ගය ඔස්සේ උඩමළුව වෙත ලබා දී ඇති විදුලි බලය පවතින බැවින් මළුව ප්‍රදේශයේ පමණක් විදුලිය පවතින බව වාර්තා වේ.
විදුලිය ඇනහිටීම මස්කෙළිය ප්‍රදේශයේ පානීය ජල සැපයුමට ද සෘජුවම බලපා ඇත. මස්කෙළිය ඔයේ සිට ජලය පොම්ප කිරීමට විදුලිය නොමැති වීම හේතුවෙන් මස්කෙළිය ජල පාරිභෝගික මධ්‍යස්ථානය මගින් සිදු කරන ජල බෙදාහැරීම ද මේ වන විට අත්හිටුවා තිබේ. ප්‍රදේශයේ පවතින අධික වියළි කාලගුණයත් සමඟ විදුලිය සහ ජලය යන අත්‍යවශ්‍ය සේවා දෙකම නොමැති වීමෙන් නල්ලතන්නිය සහ මස්කෙළිය යන ප්‍රදේශවල ජනතාව මෙන්ම වන්දනාකරුවන් ද දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.
නල්ලතන්නිය, මස්කෙළිය සහ රිකාටන් ඇතුළු වතු ගණනාවකට මෙලෙස විදුලිය ඇනහිට ඇති අතර, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් සේවකයින් සේවයට වාර්තා නොකිරීම නිසා බිඳවැටීම් පිළිසකර කිරීම ප්‍රමාද වී ඇත. මේ හේතුවෙන් ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන බැතිමතුන්ට ආරක්ෂිත පියවරක් ලෙස විදුලි පන්දම් වැනි විකල්ප ආලෝක ප්‍රභවයන් භාවිතා කරන ලෙස බලධාරීහු උපදෙස් දෙති.














