පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන දේශපාලන ප්‍රතිවාදීන් ඉලක්ක කර ගැනීමට හෝ භූ-දේශපාලන න්‍යාය පත්‍ර සාක්ෂාත් කර ගැනීමට යොදා නොගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. සිය X (ට්විටර්) ගිණුමෙහි සටහනක් තබමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ වත්මන් රජය බලයට පත්වූයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බවට වූ පොරොන්දුව මත වුවද, වර්තමාන පරීක්ෂණවල ප්‍රගතිය හමුවේ එම පොරොන්දුව සහ විමර්ශනවල විශ්වාසනීයත්වය පිළිබඳ බරපතළ සැකයක් මතුවන බවයි.
මෙහිදී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ මන්ත්‍රීවරයා, ඔහු වසර තිහක යුද්ධය අවසන් කිරීමට සුවිශේෂී මෙහෙවරක් කළ ගෞරවනීය නිලධාරියෙකු බව සඳහන් කළේය. කාලයත් සමඟ දේශපාලන බලපෑම් මත ඔහු සම්බන්ධයෙන් ව්‍යාජ මතයන් නිර්මාණය වී ඇති බව පෙන්වා දුන් නාමල් රාජපක්ෂ මහතා, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරි බවට කොමිෂන් සභා වාර්තාවල සඳහන් වූ ඇතැම් පුද්ගලයන්ට වත්මන් රජය යටතේ උසස් තනතුරු පවා ලබා දී ඇති බවට චෝදනා කළේය.
එවැනි පසුබිමක සුරේෂ් සලේ මහතා පමණක් ඉලක්ක කර විමර්ශන සිදු කිරීම ප්‍රශ්නකාරී බවත්, දේශපාලන අරමුණු පසෙකලා ප්‍රහාරය පිටුපස සිටින සැබෑ කුමන්ත්‍රණකරුවන් හඳුනා ගැනීමට විනිවිදභාවයෙන් යුතු පක්ෂපාතී නොවන විමර්ශනයක් අවශ්‍ය බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය. සාධාරණ පරීක්ෂණයකට තමා සැමවිටම සහාය දක්වන බවද ඔහු එහිදී පවසා තිබේ.














