ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) විසින් සිය ඉතිහාසයේ විශාලතම තෙල් සංචිතය මුදාහැරීමට ගත් තීරණය පිළිබඳව අදහස් දක්වමින්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ තමන් ඇතුළු ලෝක නායකයන් මේ වන විට ලෝකයට “අතිමහත් බලපෑමක්” (Tremendous impact) ඇති කරමින් සිටින බවයි. ඉරාන යුද්ධය සහ එහි ආර්ථික ප්‍රතිවිපාක පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පැවැත්වූ ‘G7’ කණ්ඩායමේ රටවල නායකයන්ගේ විශේෂ හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේ කෙටි වීඩියෝ දර්ශනයක් ප්‍රංශ ජනාධිපති කාර්යාලය විසින් ප්‍රසිද්ධ කර ඇති අතර, එහිදී ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේ “අප ලෝකය කෙරෙහි ඇති කරන බලපෑම ඇදහිය නොහැකි තරම්” බවයි. ඉරානයට එල්ල වූ ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉහළ ගිය බොරතෙල් මිල පාලනය කිරීම සඳහා බැරල් මිලියන 400ක සංචිතයක් මුදාහැරීමට IEA ආයතනය ගත් නිර්දේශයත් සමඟ මෙම ප්‍රකාශය නිකුත් විය.
මෙම G7 හමුවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ ඉරාන යුද්ධය හේතුවෙන් අඩාල වී ඇති ගෝලීය බලශක්ති සැපයුම් මාර්ග සහ ලෝක වෙළඳපොළේ ස්ථාවරත්වය රැක ගැනීම පිළිබඳවයි. ට්‍රම්ප්ගේ මෙම සුබවාදී ප්‍රකාශය හරහා තෙල් මිල පහත හෙළීමට බටහිර රටවල් ගෙන ඇති සාමූහික පියවරවල සාර්ථකත්වය ඔහු අපේක්ෂා කරන බව විදේශ විචාරකයන් පෙන්වා දෙයි.














