ඉරානයේ ප්‍රධානතම රජයේ බැංකුවක් වන ‘බැංක් සෙපා’ (Bank Sepah) ආයතනයට අයත් ටෙහෙරාන් නුවර පිහිටි පරිපාලන ගොඩනැගිල්ලකට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන්, කලාපය පුරා ඇති ඇමෙරිකානු සහ ඊශ්‍රායල ආර්ථික මෙන්ම බැංකු මධ්‍යස්ථාන ඉලක්ක කරන බව ඉරානය නිවේදනය කර තිබේ. ඉරානයේ ඛාතම් අල්-අන්බියා (Khatam al-Anbiya) හමුදා මූලස්ථානයේ ප්‍රකාශක ඊබ්‍රාහිම් සොල්ෆාගාරි (Ebrahim Zolfaqari) මහතා අද (11) මෙම ප්‍රකාශය සිදු කළේය.
හමුදාව සමඟ ඓතිහාසික සබඳතා පවතින බැංක් සෙපා ආයතනයට එල්ල වූ මෙම ප්‍රහාරය “ත්‍රස්තවාදී ඇමෙරිකානු හමුදාවේ සහ කෲර සියොන්වාදී පාලනයේ (ඊශ්‍රායලයේ)” ක්‍රියාවක් ලෙස හඳුන්වා දුන් ප්‍රකාශකයා, සතුරාගේ මෙම නීති විරෝධී ක්‍රියාව හේතුවෙන් කලාපයේ ඇති ඔවුන්ගේ බැංකු සහ ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමට තමන්ට සිදුවන බව අවධාරණය කළේය.
මෙම තත්ත්වය හමුවේ මැදපෙරදිග කලාපයේ වසන ජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් ඉරානය කියා සිටියේ, ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට සම්බන්ධ බැංකුවලින් අවම වශයෙන් මීටර් 1,000ක දුරින් සිටින ලෙසයි. ඉරාන යුද්ධය ආරම්භ වී සති දෙකක් ගතවන තැන, යුධමය ඉලක්කවලින් ඔබ්බට ගොස් දෙපාර්ශවයම ආර්ථික මධ්‍යස්ථාන ඉලක්ක කර ගැනීමත් සමඟ කලාපීය ආර්ථික ස්ථාවරත්වය දැඩි අවදානමකට ලක්ව ඇත.














