ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD, සිය බලයලත් බෙදාහරින්නා වන ජෝන් කීල්ස් CG Auto (JKCG Auto) සමඟ එක්ව, අතිනූතන BYD SEALION 8 රථය 2026 මාර්තු 10 වන දින කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී නිල වශයෙන් එළිදක්වන ලදී. ආසන හතකින් යුත් මෙම සුපිරි ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් (PHEV) SUV රථය ලෝකයට හඳුන්වා දුන් මුල්ම රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාව එක්වීම මෙහි ඇති විශේෂත්වයයි.
BYD රථ සඳහා ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගෙන් ලැබුණු ඉහළ ප්‍රතිචාරය මත, එහි ඉහළම ක්‍රියාකාරීත්වයකින් යුතු DM-p (Dual Mode Performance) මාදිලිය ද මෙරටට හඳුන්වා දී ඇත. ජෝන් කීල්ස් CG Auto හි ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා සඳහන් කළේ, වසරක් වැනි කෙටි කාලයක් තුළ BYD රථ 8,500කට අධික සංඛ්‍යාවක් මෙරට මාර්ගවල ධාවනය වීම හරහා ශ්‍රී ලාංකිකයන් තිරසාර බලශක්ති සංක්‍රාන්තියට සූදානම් බව මනාව පැහැදිලි වන බවයි.
මෙම SEALION 8 රථය පවුලේ අවශ්‍යතා සඳහා සුදුසු ඉඩකඩ සහිත මෙන්ම, දිවයින පුරා ඕනෑම දුරක් ගමන් කළ හැකි පරිදි නිර්මාණය කර තිබේ. මෙහි ඇති DM-i (efficiency-first) සහ DM-p (performance-first) යන මාදිලි දෙකම ප්‍රදර්ශනය කෙරුණු අතර, DM-p මාදිලිය තත්පර 4.9කදී පැයට කිලෝමීටර් 100ක වේගයක් ලබා ගැනීමට සමත් වේ. සම්පූර්ණ ඉන්ධන සහ විද්‍යුත් බලය භාවිතයෙන් කිලෝමීටර් 1,118ක අතිවිශාල දුරක් අඛණ්ඩව ධාවනය කිරීමේ හැකියාව මෙහි ඇති සුවිශේෂීම අංගයයි.
රථයේ ඇතුළත අලංකාරය මෙන්ම පහසුකම් ද ඉතා ඉහළ මට්ටමක පවතී. අඟල් 15.6ක තොරතුරු පද්ධතියක්, ස්පීකර් 21කින් යුත් සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් එකක්, සම්බාහන පහසුකම් සහිත ආසන සහ විද්‍යුත් හිරු ආවරණ සහිත පැනරෝමික් සන්රූෆ් එකක් මෙහි අන්තර්ගතය. මීට අමතරව එයාර්බෑග් 9ක්, අංශක 360 කැමරා පද්ධතියක් සහ බාහිර විද්‍යුත් උපකරණ බලගැන්විය හැකි V2L තාක්ෂණය ද මෙහි ඇතුළත් කර ඇත. දැනට වර්ණ හතරකින් ලබාගත හැකි මෙම රථය දිවයින පුරා පිහිටි BYD ප්‍රදර්ශනාගාරවලින් ලබාගත හැක.

















