කුන්මින්-මොන්ට්‍රියල් ගෝලීය ජෛව විවිධත්ව රාමුව (Kunming-Montreal Global Biodiversity Framework) ක්‍රියාත්මක කරන ලොව ප්‍රථම රටවල් අතරට එක්වෙමින්, කුන්මින් ජෛව විවිධත්ව අරමුදල (KBF) යටතේ ක්‍රියාත්මක වන සුවිශේෂී ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකාවට අනුමැතිය හිමිවී තිබේ. ගෝලීය ජෛව විවිධත්ව පොරොන්දු ජාතික මට්ටමින් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙය සැලකේ.
පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා විසින් මෙම ව්‍යාපෘති යෝජනාවලියට පසුගියදා අත්සන් තබන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා සහ අවශ්‍යතා හඳුනා ගනිමින් දේශීය විශේෂඥයන්ගේ මැදිහත්වීමෙන් සම්පාදනය කරන ලද මෙම යෝජනාවලිය, මෙරට ජෛව විවිධත්වය සුරැකීම සඳහා ගෝලීය සහයෝගීතාවය ලබා ගැනීමේ ප්‍රශස්ත අවස්ථාවක් වනු ඇත.
ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට, කෘෂිකර්මාන්තයට සහ ජනජීවිතයට දැඩි තර්ජනයක් වී ඇති ආක්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂ (Invasive Alien Species) පාලනය කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. මින් පෙර පැවති විසිරුණු ව්‍යාපෘති වෙනුවට, රට පුරා ඒකාබද්ධ ජාතික ජෛව ආරක්ෂණ පද්ධතියක් (National Biosecurity System) ස්ථාපනය කිරීම මෙහිදී සිදුවේ. ඒ යටතේ ආක්‍රමණශීලී ජීවීන් හඳුනා ගැනීම, වැළැක්වීම සහ දිගුකාලීන කළමනාකරණය සඳහා අවශ්‍ය නීතිමය සහ ආයතනික රාමුව ශක්තිමත් කෙරේ.
මෙම ව්‍යාපෘතිය යටතේ 2015 වසරෙන් පසු පළමු වරට ජාතික ආක්‍රමණශීලී ජීවී විශේෂ ලේඛනය යාවත්කාලීන කිරීම, ඩිජිටල් නිරීක්ෂණ පද්ධතියක් ඇති කිරීම සහ දේශසීමා පාලනය දැඩි කිරීම වැනි පියවර රැසක් ක්‍රියාවට නැංවේ. විශේෂයෙන්ම ‘පාලනය හරහා ප්‍රයෝජනයක් ලබා ගැනීම’ (Eradication-through-utilization) වැනි නව්‍ය ක්‍රමවේද මගින් කාන්තාවන්ට, තරුණ තරුණියන්ට සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට ආර්ථික අවස්ථා උදා කර දීමට ද සැලසුම් කර ඇත.
පරිසර අමාත්‍යාංශය සහ FAO ආයතනය එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ, ජෛව විවිධත්වය සුරැකීමේ ජාත්‍යන්තර අභිලාෂයන් ප්‍රායෝගික ජාතික ක්‍රියාකාරී සැලැස්මක් බවට පත් කරන ලොවටම ආදර්ශමත් ආකෘතියක් ලෙස හඳුන්වා දිය හැකිය.














