කල්පිටිය ආශ්‍රිත මුහුදු තීරයේ මේ දිනවල සැරිසරන ඩොල්ෆින් මසුන් දැක බලා ගැනීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙමින් සිටිති. වනජීවී නිලධාරීන් පෙන්වා දෙන්නේ කල්පිටිය මුහුදේ බහුලව දක්නට ලැබෙන්නේ “දඟර මුල්ලා’’ (Spinner Dolphin) නමින් හඳුන්වන ඩොල්ෆින් විශේෂය බවයි. සෑම වසරකම දෙසැම්බර් මාසයේ සිට මාර්තු මස අවසානය දක්වා වූ කාලය තුළ මෙම මසුන් කල්පිටිය මුහුදේදී ඉතා සමීපව දැක ගැනීමට අවස්ථාව සැලසේ.
කල්පිටිය, කන්දකුලිය සහ ඉලන්තිඅඩිය වෙරළ තීරයෙන් බෝට්ටුවක නැගී කිලෝමීටර් 05ක් පමණ බටහිර දෙසට මුහුදේ ගමන් කළ විට මෙම සුන්දර දසුන දැක ගත හැකිය. කුඩා සහ විශාල රංචු වශයෙන් සැරිසරන මෙම මසුන් අතරින් යොවුන් වියේ පසුවන පිරිමි ඩොල්ෆින් සතුන් සහකාරියන් ආකර්ෂණය කර ගැනීම සඳහා මුහුදේ ඉහළට පැන කරනම් ගසන ආකාරය සංචාරකයන්ගේ නෙත් සිත් ඇදගන්නා සුළුය. මිනිසුන් කෙරෙහි වැඩි හිතවත්කමක් දක්වන මොවුන් සංචාරක බෝට්ටු අසලටම පැමිණෙමින් විවිධ සෙල්ලම් දැමීමට ද උනන්දුවක් දක්වති.
කෙසේ වුවද, ක්ෂීරපායි ගණයට අයත් මෙම සතුන් මිනිස් ක්‍රියාකාරකම් සහ ඇතැම් ධීවර ආම්පන්නවල පැටලීම හේතුවෙන් මියයෑමේ අවදානමක් ද පවතින බව මීට පෙර වාර්තා විය. එබැවින් ඩොල්ෆින් නැරඹීමට යන සංචාරකයන් සහ බෝට්ටු හිමියන් මෙම සතුන්ට පීඩාවක් නොවන අයුරින් කටයුතු කිරීමේ වැදගත්කම බලධාරීන් අවධාරණය කරති. කල්පිටිය මුහුදේ පවතින මෙම ස්වාභාවික ආකර්ෂණය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ද විශාල දායකත්වයක් ලබා දෙයි.














