ගාල්ල, උඩුගම පොලිස් වසමට අයත් නාකියාදෙණිය, අලුත්වත්ත ප්‍රදේශයේදී වයස අවුරුදු දෙකයි මාස හතරක් වයසැති කුඩා දැරියක් අනාරක්ෂිත ළිඳකට වැටී මියයාමේ අවාසනාවන්ත පුවතක් වාර්තා වේ. පසුගිය මාර්තු 08 වැනිදා සිය ඥාති නිවසක පිහිටි ළිඳකට මෙලෙස වැටී ඇත්තේ ඉනුකි ලිනාරා නමැති දැරියකි. සිද්ධිය සම්බන්ධයෙන් වන හදිසි මරණ පරීක්ෂණය උඩුගම මූලික රෝහලේදී පවත්වා ඇති අතර එහිදී අනාවරණය වූයේ මෙය වැඩිහිටියන්ගේ නොසැලකිල්ල හේතුවෙන් සිදුවූ මරණයක් බවයි.
මියගිය දැරියගේ මව වන 27 හැවිරිදි අයෝෂා සමන්මලී මහත්මිය සාක්ෂි දෙමින් පවසා සිටියේ, එදින සවස් කාලයේ තමා නිවස අසල පිහිටි සිය නැන්දනියගේ (පුංචි) නිවසේ ළිඳෙන් දිය නෑමට ගිය බවයි. එම අවස්ථාවේදී දියණිය ද එතැනට පැමිණ ඇති අතර, ඇයව නාවා නැන්දනියගේ නිවස දෙසට යැවූ බව ඇය සඳහන් කළාය. පසුව දිය නා අවසන් වී දියණිය කැඳවාගෙන ඒමට යන අවස්ථාවේදී ඇය ළිඳට වැටී ඇති බව දැනගන්නට ලැබී තිබේ.
ළිඳෙන් ගොඩගත් දැරිය වහාම උඩුගම රෝහලට ඇතුළත් කළ ද, ඇයගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් දැරූ උත්සාහය වෘථාවී ඇත. මියගිය දැරියගේ පියා මීට පෙර ඇයව සහ මවව අත්හැර ගොස් ඇති අතර, මව තේ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිය මහලු දෙමාපියන් සහ දරුවා ජීවත් කරවා ඇත. මරණ පරීක්ෂණයේදී සාක්ෂි මෙහෙයවූ නිලධාරීන් අවධාරණය කළේ කුඩා දරුවන් සිටින දෙමාපියන් මෙවැනි අනාරක්ෂිත ස්ථාන පිළිබඳව මීට වඩා දැඩි අවධානයකින් පසුවිය යුතු බවයි.














