අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු පසුගිය සති දෙකක කාලය පුරා අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ දැඩි ප්‍රහාර හමුවේ වුවද, ඉරාන නායකත්වය බිඳ වැටීමේ අවදානමක් නොමැති බව අමෙරිකානු බුද්ධි අංශ වාර්තා කරයි. රොයිටර් පුවත් සේවය පවසන පරිදි, පෙබරවාරි 28 වනදා සිදු වූ කමේනිගේ මරණයෙන් පසු දියත් කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවෙන් ඉරාන පාලන තන්ත්‍රයට බරපතල තර්ජනයක් එල්ල වී නොමැති බව බුද්ධි වාර්තා තහවුරු කරයි.
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සහ එරට අන්තර්වාර නායකත්වය තවදුරටත් රට තුළ සිය බලය තහවුරු කරගෙන සිටින බවත්, මහජනතාව මත පාලනය පවත්වා ගැනීමට ඔවුන් සමත්ව ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි. විශේෂයෙන්ම ගොඩබිම් ප්‍රහාරයකින් තොරව ඉරාන පාලනය පෙරළා දැමිය නොහැකි බවට ඊශ්‍රායල නිලධාරීන් ද මේ වන විට පිළිගෙන තිබේ. මේ අතර ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස මෝජ්තාබා කමේනි පත් කර ඇති බව විශේෂඥ සභාව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.
ගෝලීය වශයෙන් ඉහළ යන තෙල් මිල හමුවේ අමෙරිකානු රජයට එල්ල වන දේශපාලන පීඩනය හේතුවෙන් මෙම යුදමය තත්ත්වය අවසන් කිරීමේ අවශ්‍යතාව මතුව තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මෙම මෙහෙයුම් ඉක්මනින් අවසන් විය හැකි බවට ඉඟි පළ කර ඇත. මේ අතර ඉරාකයේ සිටින කුර්දි සන්නද්ධ කණ්ඩායම් ඉරානය තුළ ප්‍රහාර එල්ල කිරීමට අමෙරිකාව සමඟ සාකච්ඡා කළ ද, ඉරාන හමුදාවට අභියෝග කිරීමට තරම් ප්‍රමාණවත් බලයක් ඔවුන් සතු නොවන බව බුද්ධි අංශ නිගමනය කර තිබේ.














