මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක තෙල් වෙළඳපොළේ ඇති වී තිබෙන අස්ථාවරත්වය හමුවේ ඕස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළ අද (12) දින දැඩි පසුබෑමකට ලක්විය. ප්‍රධාන දර්ශකය වන S&P/ASX 200 දර්ශකය 1.3% කින් පහත වැටී ඒකක 8629ක් ලෙස සටහන් වූ අතර, මේ හරහා වෙළඳපොළ වටිනාකමෙන් ඩොලර් බිලියන 43ක් පමණ සේදී ගොස් තිබේ.
බොරතෙල් මිල බැරලයක් අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා යාම මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව වී ඇති අතර, ඉහළ යන බලශක්ති පිරිවැය ගෝලීය උද්ධමනය කෙරෙහි සෘජුව බලපානු ඇතැයි ආයෝජකයෝ බිය පළ කරති. හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට එල්ල වී ඇති බාධා හේතුවෙන් ඉරාන ගැටුම ඉක්මනින් අවසන් වනු ඇතැයි පැවති බලාපොරොත්තු ගිලිහී ගොස් ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඉරාන බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ මෙය දීර්ඝ කාලීන “පිරිහීමේ යුද්ධයක්” (War of attrition) වනු ඇති බවයි.
මේ අතර, උද්ධමනය පාලනය කිරීම සඳහා ඕස්ට්‍රේලියානු මහ බැංකුව (Reserve Bank) විසින් ලබන සතියේදී එරට පොලී අනුපාත 4.1% දක්වා ඉහළ දමනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ පුරෝකථනය කරති. පොලී අනුපාත ඉහළ යාම සාමාන්‍යයෙන් කොටස් වෙළඳපොළ කෙරෙහි සෘණාත්මක බලපෑමක් එල්ල කරන අතර, මැදපෙරදිග පවතින “සංකීර්ණ යථාර්ථය” හමුවේ ඕස්ට්‍රේලියානු ආයෝජකයන් දැඩි අවිනිශ්චිතතාවයකට පත්ව සිටී.














