ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජපානයේ IM Japan ආයතනය අතර ඇති කරගත් ගිවිසුමක් අනුව, ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් (TITP) ලෙස සේවය කිරීමට ශ්‍රී ලාංකිකයින්ට නව ක්ෂේත්‍රයක් විවෘත වී තිබේ. ඒ අනුව මින් පෙර පැවති රැකියා ක්ෂේත්‍රයන්ට අමතරව ‘වන වගා’ ක්ෂේත්‍රයේ පුහුණුව සඳහා ද ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට දැන් අවස්ථාව හිමි වේ.
මෙම නව ක්ෂේත්‍රය යටතේ පළමු වරට තේරී පත්වූ තරුණයින් තිදෙනෙකු ඇතුළු 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ (11) ජපානය බලා පිටත්ව ගියහ. මෙම පිරිසට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. දැනට පවතින ඉදිකිරීම් ඇතුළු ක්ෂේත්‍ර 7ට අමතරව මෙම නව අවස්ථාව හිමිවීම විදේශ රැකියා ක්ෂේත්‍රයේ සුවිශේෂී ජයග්‍රහණයකි.
වයස අවුරුදු 18-30 අතර, උසස් පෙළ විභාගයට පෙනී සිටි තරුණ තරුණියන්ට මේ සඳහා අයදුම් කළ හැකිය. ජපන් භාෂා දැනුම (JFT හෝ JLPT N5) සහ අදාළ කුසලතා පරීක්ෂණ සමත් වීම මෙහිදී අනිවාර්ය වේ. පුහුණුව නිමවා මෙරටට පැමිණෙන පිරිස් සඳහා ස්වයං රැකියා ආරම්භ කිරීමට අවශ්‍ය සහාය ලබා දීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක වන අතර, මේ වන විට ලාංකිකයින් 659 දෙනෙකු මෙම වැඩසටහන යටතේ ජපානය වෙත යොමු කර ඇත.














