දකුණු පළාතේ අවන්හල් හිමිකරුවෙකු නීතිවිරෝධී ලෙස රඳවා තබාගෙන, ඔහුට අමානුෂික ලෙස වධහිංසා පමුණුවා රුපියල් ලක්ෂ 30ක මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන් හත්දෙනෙකු වැරදිකරුවන් බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (11) තීන්දු කළේය. මෙම නිලධාරීන් විසින් පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව තෙපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කළහ.
මිදගම ප්‍රදේශයේ “Cheeky Monkey” අවන්හල පවත්වාගෙන යන දිනේෂ් ප්‍රියදර්ශන දොඩංගොඩ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමකට අනුව මෙම නඩු තීන්දුව ලබා දී තිබේ. 2023 ජනවාරි 02 වනදා රාත්‍රියේ මෙම අවන්හල වටලනු ලැබූ සුරාබදු නිලධාරීන්, පෙත්සම්කරුගේ ඇස් බැඳ කොළඹට රැගෙන ගොස් අමානුෂික ලෙස වධහිංසා පමුණුවා ඇති බවත්, මත්ද්‍රව්‍ය චෝදනා යටතේ මහාධිකරණයේ නඩු පවරන බවට බිය ගන්වා රුපියල් මිලියන තුනක කප්පම් මුදලක් ලබාගෙන ඇති බවත් අධිකරණයේදී අනාවරණය විය.
පෙත්සම්කරු නිදහස් කරවා ගැනීම සඳහා ඔහුගේ ඥාතීන් සහ මිතුරන් තමන් සතු රන් ආභරණ උකස් කර අදාළ කප්පම් මුදල සොයා දී ඇති බවත්, එම මුදල ලබාගැනීමෙන් පසුව සුළු කොකේන් ප්‍රමාණයක් ළඟ තබා ගැනීමේ චෝදනා යටතේ පෙත්සම්කරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කළේය. වෛද්‍ය වාර්තා මගින් ද පෙත්සම්කරුට වධහිංසා පමුණුවා ඇති බව තහවුරු වී තිබේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් වගකිවයුතු සුරාබදු නිලධාරීන් හත්දෙනාට පෙත්සම්කරු වෙත රුපියල් 75,000 බැගින් රුපියල් 525,000ක වන්දියක් මාස තුනක් ඇතුළත සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස් මහතා ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටි අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය පෙනී සිටියාය.














